විකෘතීන් රැසකට බඳුන් වූ නව කොවිඩ් වෛරසය ප්‍රභේදයක්

විකෘතීන් රැසකට බඳුන් වූ නව කොවිඩ් වෛරසය ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හදුනාගෙන තිබෙනවා.

දැනට එරට එක් ප්‍රාන්තයක පමණක් කැපීපෙනෙන වේගයකින් මෙම වෛරස ව්‍යාප්ත වෙමින් පැවතියත් දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ එය වඩාත් භයානයක වෛරස ප්‍රභේදයක් වනු ඇති බවයි. B.1.1.529 නම් මේ ප්‍රභේදයේ ආසාදිතයින් 59දෙනෙකු හඳුනාගෙන ඇති අතර, දැනටමත් එය දකුණු අප්‍රිකාවට අමතරව, හොංකොං සහ බොට්ස්වානා යන රාජ්‍යන්ගෙන්ද හදුනාගෙන තිබීම විශේෂත්වයක්.

ඇතැම් විද්‍යාඥයින් විස්තර කරන්නේ මෙතෙක් හදුනාගත් භයානකම කොවිඩ් ප්‍රභේදය මෙය ලෙසයි. එමෙන්ම මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අභිබවායාමේ හැකියාවක් එම ප්‍රභේදය සතු බවට මේ වනවිටත් කරුණු හදුනාගෙන ඇතැයිද ඔවුන් පවසනවා. තවද මේ නව ප්‍රභේදය ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය මෙන් දෙගුණයකින් විකෘතීන්වලට බඳුන්ව ඇති බවද විද්‍යාඥයින් පෙන්වාදී තිබෙනවා.

නව ප්‍රභේදය පිළිබද දැඩි අවධානය යොමුකර ඇති බව පවසන දකුණු අප්‍රිකානු වසංගත රෝග අංශය එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය සඳහාද යොමුකර ඇතැයි සඳහන්. ඔවුන් පවසන්නේ B.1.1.529 නම් මේ දැඩි අවදානම්සහගත නව ප්‍රභේදය නුදුරේදීම ග්‍රීක නාමකරණය යටතේ නම් කෙරෙනු ඇති බවයි.

මේ අතර උද්ගතව ඇති අවදානම හමුවේ වහාම දකුණු අප්‍රිකාව හා ආසන්න රටවල සිට තම රටට සිදුකරන සියලු ගුවන්ගමන් අත්හිටුවීමට එංගලන්තය පියවර ගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් සජීඩ් ජාවේඩ් පැවසුවේ අද මධ්‍යහ්නයේ සිට දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසාතෝ සහ එස්වාටිනී යන රටවල සිට සිදුවන සියලු ගුවන්ගමන් නවත්වාදමන බවයි. එමෙන්ම ආසන්න දිනය 10තුළ අදාළ රටවල සංචාරය කළ අයර්ලන්ත හෝ එක්සත් රාජධානියේ පුරවැසියන් නොවන, කිසිවෙකුට එංගලන්තයට ඇතුලුවීමේ අවස්ථාව නොදෙන බවද ඔහු වැඩිදුරටත් පවසනවා. නව ප්‍රභේදය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇතැයි පවසන ලේකම්වරයා පෙන්වාදෙන්නේ භයානක වෛරස ප්‍රභේදය පැතිරයාමේ අවදානම සලකා මෙම තීන්දුවට පැමිණි බවයි.